කාලයට පමණක් යටත්වුනු පත්තරකාරයා...




හදවතින් යමක් ලියවෙන්න හදවතට දැනෙන නිමිත්තක් තිබිය යුතුය. එවැනි නිමිති හදවතට ආසන්නයට පැමිණ ගියත් බ්ලොග් අඩවියේ අකුරක් ලියවන්න තරම් ශක්තිමති නොවීය. පහුගිය සතියේ ගැටුණු නිමිත්තක් විරාමයට සමුදී අකුරු ගලපවන්නට තරම් ශක්තිමත් විය. දවස පහුගිය බ්‍රහස්පතින්දා. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වුනු මාධ්‍ය සම්මාන උළෙලකට සහභාගි වන්නට වරම් හිමිවුණේ වීවීඅයිපී (අතිශය අතිශය වැදගත් පුද්ගලයෙක්) ලෙසින් නොව එය සංවිධාන කළ පාසලේ ආදි පුරුකක් වීමේ භාග්‍යය නිසාය. වීවීඅයිපී ලෙස සහභාගි වන අයට නොදැනෙන, වීවීඅයිපී මාධ්‍ය උළෙලවලට නොපෙනෙන කෝණයකින් දකින්නට බලන්නට ඉඩකඩ ලැබීම විරාමයට සමුදී මේ ලිවිල්ලට ඉන්ධනය විය.

සංවිධායක මණ්ඩලයට උදව් පදව්, උපදේ (කලින් පොරක් වීම නිසා) දෙමින් දුව පැන ඇවිදිමින් සිටි මගේ හිත එක්වරම සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගනයේ විශේශ අමුත්තන් පිවිසෙන ගේට්ටුව දෙසින් දුටු රුවක් අසල නතරවිය. කිසිදිනක මා හැබැහින් දැක නැති ඒ රුව මා මවාගෙන සිටි පෞරුශයට කිසිසෙයකින්වත් අයිතිකම් කියන්නට හැකියාවක් නැත්තක් විය. බිරිඳ යැයි සිතිය හැකි කාන්තාවකටත්, පුතා යැයි කිවහැකි යෞවනයෙකුටත් වත්තම් වෙමින් ඇදෙන කේඩෑරි මිනිසා දැක මගේ සිත තුළ ඔහු කෙරෙහි වූ ගෞරවය කැමැත්ත බිඳකුදු අඩුනම් නොවීය. නමුත් මා මවාගෙන සිටි පෞරුශය ඔහු පෙනුමෙන් ආරූඬ කරගත්තක් නොවන බව පසක් විය.

ඔහු ඇදහූ සමාජ මතය ක්‍රියාවෙන්ම ඔප්පු කරන්නාක් මෙන් රතු පැහැයට හුරු දුඹුරු කමිසයකුත්, එයටම ගැලපෙන දුඹුරු කලිසමකිනුත් සැරසී උන් ඒ කේඩෑරි මිනිසා මා පසුකර විශේශ අමුත්තන්ගේ ආලින්දය දෙසට ඇවිද යන තෙක්ම මම බලා සිටියෙමි. ඔහුගේ පැමිණීමේ විශේශත්වයක් ගැන සිතීමට කිසිඳු අවශ්‍යතාවක් නොවීය.

කාලය කෙමෙන් ගෙවෙමින් නැටුම් ගැයුම් රැඟුම් තරුණ ජවය අතරින් අවසානය කරා එළඹුනි. අවසානය සනිටුහන් කරන්නට ආසන්නයේදී ජීවිත කාලය තුළ එක් වරක් පමණක් ලබන්නා වූ සම්මාන ත්‍රිත්වයක් ලබා දීමේ අවස්ථාව එළඹුනි. පළමු සම්මානය ගුවන් විදුලි සංස්ථාවට, දෙවැන්න පාලිත පෙරේරා නම් අසහාය ක්‍රීඩා මාධ්‍යවේදියාට. තුන්වන සම්මානයට හේතුපාඨ කියනා විඩියෝව දර්ශනය වෙද්දී ශාලාව නිහඬ බව වැළඳ ගන්නා ලදි. හේතුපාඨය අවසානයේ වෙව්ලන ගතින්, තරුණ ගතකට වාරුවෙමින් ඔහු වේදිකාව මතට නැගුණි. සුනිල් මාධව ප්‍රේමතිලක, තැලෙන පොඩිවෙන පන්තියේ මිනිස්සුන් වෙනුවෙන් හඬ නැගූ පුවත්පත් කළාවේදියා යන හේතුපාඨයේ හඬ වියැකී යන්නට අත්පොළසන් හඬ නැගුණි. නමුත් අසුන් වලින් එසවෙන්නට සමහර විටෙක නිර්ධන පන්තිය යන වචනය අසාවත් නැති මිනිසුන්ට අමතක වූවා විය හැකිය. 

වෙව්ලන දෑතින් ගත් සම්මානට ළයේ රුවාගෙන ඔහු නිවේදක සොයුරාගේ මුව දෙස සැළෙන දෙනෙතින් බලා සිටියේය. "ඔබතුමාට මතකද මම ඔබතුමාට මේ සම්මානය ලැබෙන බව දන්වන්න මුලින්ම දුරකතනයෙන් කතාකළ දවස". නිවේදක සොයුරා නිහඬතාව බින්දේය. "මං ඔබතුමාව ඇමතුවේ සුනිම් මාධව සර්ද කතා කරන්නෙ කියල. ඔබතුමා හරි අපූරු උත්තරයක් දුන්නා.ඒකෙන් ඔබතුමා කොතරන් නිහතමානී පුද්ගකයෙක්දැයි මම තේරුම්ගත්තා". ඔහු මදක් නැවතී සිටියේය. "ඔබතුමා මගෙන් ඇහුවෙ, ඇයි උඹ මට සර් කියන්නෙ. මං පත්තරකාරයෙක් බං කියල".

තුවක්කුවට මරණයට බය නොවූ, මුදලට තානාන්තර වලට හෘද සාක්ශිය නොවිකිණූ, සත්‍යවාදී, කිසිවෙකුට යටත් නොවූ කේඩෑරි කුඩා මිනිසා සදාතන සත්‍යය, කාලයට යටත් වී සිටියි. හැත්තෑ වියැති සුනිල් මාධවයන් කෙරෙන් ජවයක් සටන්කාමීත්වයක් නොපෙණුනත් ඔහුගේ නිහඬත්වය ඔහු ඇදහූ සමාජ මතය තවමත් හදවතින්ම පිළිගන්නා බවත්, ඔහුගේ සටන තවමත් අතැර නැති වගත් සහතික කරයි. ජීවිත සටන හැරයන්නට හැමට මෙන් ඔහුටද සිදුවන මුත් තවමත් එයට කාලය නොවේ. සුනිල් මාධව ප්‍රේමතිලක නම් මා ආදරය කරන සරල සුන්දර මිනිසාට නැවත්ත් පෑනෙන් සත්‍යය හඬවන්නට ආයුශ ශක්තිය ලැබේවා !





Comments

  1. මේ මනුස්සයා කොච්චර නිහතමානී කෙනෙක්ද කියලා මං පෞද්ගලිකව අත්දැකලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අපූරු මනුස්සයෙක්... කියමු ඒ කතාවත් ළඟදිම :)

      Delete
  2. ඔන්න මිනිස්සු!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.... උඹතුමා වගේ අසාධාරණ පාලකයන්ට තඹේකට බය නොවුනු මිනිහෙක්... :D

      Delete

Post a Comment