ගැහැණිය දකින්න









කවදා හෝ මේ සංවාදය මම මගේ පුතු සමඟ සිදුකරනු ඇත. ඔහුගේ ඇස කවදා හෝ පිරිමියෙකුගේ ඇස වඩාත් හොඳින් කරන්නට දන්නා දේ සිදුකරනු මගේ ඇස ගැටුනු මොහොතක මේ සංවාදය සිදුවෙනු ඇත. මහමඟදී, මුහුදු වෙරළකදී, කඩ සාප්පුවකදී වේවා ඒ බැල්ම මගේ ඇස ගැටෙන මොහොත එයට කාලය වනු ඇත.



මම දුටුවා ඇය දෙස බැලූ හැටි. එය ඔබව ලැජ්ජාවට පත්කරන්නට කරුණක් හෝ ඔබව මනින්නට මිම්මක් ලෙස මම දකින්නේ නැහැ. මම ඔබ කළ දේ හඳුනනවා, මමත් පිරිමියෙක් නිසා. නමුත් ඔබ කළ දේ ගැන කතාකිරීම මගේ වගකීමක් ලෙස මට හැඟෙනවා. ඒ ඔබ ඇය දෙස බැලූ ආකාරය ගැන ඔබ තේරුම් ගත යුතු නිසා.
බොහෝ මිනිසුන් තර්ක කරාවි " ගැහැණිය ඇය අඳින පළඳින ආකාරය ගැන වගකිවයුතු බවත්, ඇය තමන්දෙස  පිරිමින් වැරදි ආකාරයකින් නොබලන්නට වගබලාගතයුතු බවත්. නමුත් මට කියන්නට ඇත්තේ උදෑසන වස්ත්‍රයකින් සිරුර වසා ගැනීම ගැහැණියකගේ වගකීම වුවත් ඇයගේ ඇඳුම හේතුව නොකර ඇය දෙස මනුශ්‍යත්වයෙන් බැලීම ඔබේ වගකීම බවයි  " . ඇය සිරුර වසා ගැනීම හෝ නොගැනීම හේතුව කරගෙන ඇයට වරද පැටවීමට ඔබේ ඇසත් මනසත් සූදානම් වේවි. සධාරණීකරණය ආවරණය කරගෙන ඔබේ මතය රකින්නට උත්සාහ නොකරන්න. මන්ද ඒ දසුන ඔබේ ඇසට ළඟාවෙන මොහොතේ එය පිළිබඳ චිත්තරූපය තීරණය කිරීමේ පූර්ණ බලය ඔබ සතුය. ඒ බලය පාවිච්චි කරන්නට ප්‍රගුණ කරන්න. ඇයගේ දෙනෙත් දෙස කෙළින් බලන්නට ඔබේ ඇස පුහුණි කරන්න. ඇයගේ ඇඳුම හෝ සිරුර නොදැක ඇය දකින්නට ඔබ ඔබතුලම විනය ඇති කරගන්න. සධාරණීකරණය ඔබේ ආවරණය කරගන්නා මොහොතේ ඔබ හරි වැරැද්ද හඳුනා ගැනීමට නොහැකිව මුලාවන බවද මිනිස්කම හා මාංශය අන්ත දෙකක් බව අමතක කරන බවද තේරුම් ගන්න.

ඔබ සාධාරණීකරණය නැමැති අමූලික බොරුවෙන් මිදෙන්න. ඔබ එවැනි අදහස් දරා සිටින්නෙකු වීමට අවශ්‍ය නැත. ඔබ ඇස යොමන ගැහැණිය ඇය ඇඳ සිටින ඇඳුම නොවේ. ඇය ඔබ දකිනා සිරුර නොවේ. ඇය තුළ ඔබ දකිනා භෞතික පෙනුමට වඩා දෙයක් තිබෙන බව තේරුම් ගන්න. මිනිසුන් තමන් කැමති දේ භෞතික මානයන් තුළින් දකින්නට කැමැති බව සත්‍යයක්ය. ඒ ඒවා පාලනය කිරීමට ඇති කැමැත්ත හා අරමුණ නිසාය.  නමුත් ඔබ තවත් මිනිස් ජීවිතයක්, පිරිමියෙක් හෝ ගැහැණියක් භෞතික මානයන්ගෙන් මැනීමට සැරසෙන මොහොතේ ඔබ මිනිස්කම අත්හරින බව මතකයේ තබාගන්න.

ඔබටද එක් අන්තයක් අනුමත කරන්නට යැයි සමාජය පවසන, ගැහැණියකගේ ඇඳුම පිළිබඳ මතයන් දෙකක් ඇත. එකක් ගැහැණිය පිරිමියාගේ අවධානය දිනා ගැනීමට අඳින පළඳින බවය. අනෙක පිරිමින්ගෙන් තමන් ආරක්ශා කර ගැනීමට ඇඳුම යොදාගත යුතු බවය. ඔබ බහුතරයෙන් මිදී සිතන්න. ඔබ ඒ දෙකොට්ඨාශයටම වඩා වැදගත්. ගැහැණියක හෝ ඕනෑම මනුශ්‍ය ජීවිතයක් ඔබේ අවධානය දිනා ගැනීමට ඇඳීම පැළඳීම අනවශ්‍ය බව විශ්වාස කරන්න. ඔවුන් අපේක්ශා කරන පූර්ණ අවධානය ඔවුන්ගේ බාහිර ස්වරූපය මත නොරැඳී ලබා දෙන්න. ඔවුන් ඔබේම මනුශ්‍ය සමාජයේ සාමාජිකයන්ය. අනෙක් අන්තයෙන්, ගැහැණියකට ඔබෙන් ආරක්ශාවීමට ඇයට අවැසි යන හැඟීම නොදෙන්න. ඔබ ඔබව පාලනය කරගන්න.

මනුශ්‍යත්වයේ අභාග්‍යයට විරුද්ධ ලිංගිකයන් තුළ එකිනෙකා පිළිබඳ බියක් රෝපණය වී ඇත. නොසලකා හැරීමේ බිය, අකටයුතුකම් සිදුවේය යන බිය, තමන් පාලනයෙන් ගිලිහී සීමාව ඉක්මවා යාවි යැයි ඇති බිය අතීතයේ පටන් ඉගැන්වීම් හා ජීවන රටාව තුළින් අප තුළ රෝපණය කර ඇත. ගැහැණියකගේ සිරුර පිරිමියා පාපයට ඇදගන්නා බව අපට උගන්වා ඇත. ගැහැණියක තම සිරුර පමණට වඩා නිරාවරණය කිරීම පිරිමින් වරදට යොමු කරවන බව අපට විශ්වාස කරන්නට උගන්වා ඇත. ඔබ ඒ විශ්වාසයන් බැහැර කරන්න. ගැහැණියගේ සිරුර ඔබව වරදට ඇද ගනීනම්, එය ඔබ ඔබේ පාලනයෙන් ගිලිහීමට තරම් වන්නේනම් එය ගැහැණු ශරීරයේ වරදක් නොව ඔබේ වරදක් බව තේරුම් ගන්න. ගැහැණිය හා පිරිමියා තුළ එකිනෙකා කෙරෙහි ඇති බිය හා වැරදි ආකල්පයන්ට දායක වන්නෙකු නොවන්න.

ගැහැණියකගේ සිරුර සුන්දරය, අපූර්වය, ගුප්තය. ඒ සුන්දරත්වයට, ඇය බලාපොරොත්තු, සිහින හා හැඟීම ඇති ප්‍රාණයක් ලෙස ගරුත්වයෙන් සලකමින් ගෞරව කරන්න. ඇයට ආත්ම විශ්වාසයෙන් ජීවත් වන්නට ඉඩ දෙන්න. ඇයට ආත්ම විශ්වාසය ගොඩනගාගන්නට ධෛර්යය දෙන්න. ඒ සියල්ලම ඇය දුර්වලයි යන හැඟීමෙන් කිසිවිටෙක නොකරන්න. එය ගැහැණිය පිළිබඳ සමාජය තුළ ඇති අප්‍රසන්නතම මතයයි. ගැහැණිය පිරිමියාට වඩා දුර්වල නැත. ඔවුන් දුර්වල ලිංගිකයන් නොව විරුද්ධ ලිංගිකයන් බව කිසිදා අමතක නොකරන්න.

" මා ඔබට පවසන්නේ ගැහැණුන් දෙස නොබලා සිටින්නට නොවේය. එයට විරුද්ධ මතයයි. මා ඔබට පවසන්නේ ගැහැණිය දකින්නයි. නියමාකාරවම ඇයව දකින්නයි.දෙනෙතෙන් පමණක් නොව හදවතින්ද. ඔබේ ඉන්ද්‍රීයයන්ට හසුවන යමක් දකින්නට ඇය දෙස බලන්නට නොව ඇය මනුශ්‍ය ජීවිතයක් ලෙස දකින්නටය ".

මගේ බලාපොරොත්තුව ඔබ ගැහැණිය දකින ආකාරය තුළින් ඔවුන් සමඟ හැසිරෙන ආකාරයේ වෙනසක් දැකීමය. ඇත්තෙන්ම ගැහැණිය සමඟ හැසිරීම නොව ඔබ කළයුත්තේ, ඔවුන් සමඟ සිටීමය. මක්නිසාද, අවසානයේ ඔවුන්ද ඔබ සමඟ සිටිනු ඇත. විනිශ්චයට ලක්වීමේ, ලැජ්ජාවට පත්වීමේ, නොසලකාහැරීමේ බිය හෝ භෞතික වස්තුවක් ලෙස නිරූපණය වීමේ බිය මෙන්ම අන් අයෙකු මෙන් සැලකීමේ බියද ඔවුන් කෙරෙන් පහව යනු ඇත. එය ගැහැණියක පමණක් බලාපොරොත්තු වන දෙයක් නොවේ. මිනිසුන් පොදුවේ බලාපොරොත්තු වන්නේ අයයි.

ඇත්තෙන්ම ඔබේ බලාපොරොත්තුවද එයයි.




මේ Nate Pyle විසින්  ලියන ලද, ඔහුගේ වෙබ් අඩවියේ පළවූ Seeing a Woman නැමැති ලිපිය ඇසුරින් මගේ හිතේ ගොඩනැගුණු වචන සමූහයයි. වෙනත් භාශාවක දෙයක් තවත් භාශාවකට ගෙන ඒමේදී අර්ථය නොබිඳෙන ලෙස නිරූපණයට ඇති අපහසුව දැඩි ලෙස වින්දෙමි. මගේ උත්සාහය යම් දුරකට හෝ සාර්ථක යැ‍යි සිතමි. මුල් ලිපිය එලෙසින්ම නොගෙන වෙනස්කම් කිහිපයක් සහිතව ලියැවුනි.

ඉංග්‍රීසි බසින් පළවූ මුල් ලිපිය කියවීමෙන් මෙයට වඩා අර්ථය දැනෙන බව අනිවාර්යයි.පහත ලින්ක් එක තුළින් මුල් ලිපිය කියවිය හැකිය.

ජායාරූපය

Comments

  1. //මා ඔබට පවසන්නේ ගැහැණුන් දෙස නොබලා සිටින්නට නොවේය. එයට විරුද්ධ මතයයි. මා ඔබට පවසන්නේ ගැහැණිය දකින්නයි. නියමාකාරවම ඇයව දකින්නයි//

    රාගය යනු ගැහැණිය හෝ ගැහැණිය දැකීම නොව,තමන්ගේ සිතමයි.ඒ තමන්ගේ චිත්ත ෛචතසික දෙකෙහි සංකලනය විනා අරමුණ නොවේ. අරමුණ නම් සතර මහා භූත රූප නොහොත් ප්‍රෝටීන මහ ගොඩකි.

    ReplyDelete
  2. /ගැහැණියකගේ සිරුර සුන්දරය, අපූර්වය, ගුප්තය. ඒ සුන්දරත්වයට, ඇය බලාපොරොත්තු, සිහින හා හැඟීම ඇති ප්‍රාණයක් ලෙස ගරුත්වයෙන් සලකමින් ගෞරව කරන්න./

    ආසම මේ ටිකට.

    ඇත්තටම කිව්වොත් කැමති ඇදුමක් ඇදීමේ නිදහස තිබිය යුතුයි. වටේ පිටේ එවුන් මොනා කිව්වත්, නොසලකා හැරීම තමා කල යුත්තෙ.

    ReplyDelete

Post a Comment