පත්තර හදවතට









අපක්ෂපාතීත්වය හා විශ්වාසනීයත්වය ගිලිහෙමින් ජරාජීර්ණ වෙන ලාංකීය පත්තර කලාවේ ජාතික යන වචනය මුලට යෙදිය හැකි පත්තර ඇත්නම් ඒ අතළොස්සකි. දේශපාලුවන්ගේ අමන වැඩ, හීන කතා හා කෝළම් මෙන්ම නිමාවක් නැති ස්ත්‍රී දූෂණ මිනීමැරුම් හොරකම් පාතාල කෙරුම් රසකර කතන්දර ලියන පත්තර ක්‍රමය කෙරෙහි කළකිරීම් හිතේ ජනිත වුවද ඒවා මඩිමින් පත්තරයක් අතට ගන්නට උත්තේජකයක් වූ තීරු ලිපි කිහිපයක් එක්වරම මතකයට ආවේ අහම්බෙන් ඉරිදා ලංකාදීපයේ කියවූ පැණි වළලු තීරු ලිපිය හේතුවෙනි.

 පැණි වළලු මගේ හිත ආදරය හිමිවුණු තීරු ලිපි කිහිපයක් එක්වරම මතකයට නඟන්නට සමත්විය. ජාතික පුවත්පතක් යැයි හැඳින්වීම අසාධාරණයක් නොවෙන ලංකාදීපයේ පළවන මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකයන්ගේ පැණි වළලු හා නොකිළිටි දේශපාලකයෙකු ලෙස මා විශ්වාස කරන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතින් ලියවෙන නමක් නැති මතක ආවර්ජනයත්, මීට වසරකට පමණ මත්තෙන් රිවිරේ හැඩයේ වෙන්ස්වීමත් සමඟ නැවතීමේ තිත තැබුණු රසික ජයකොඩි සොයුරාගේ දවසක් දා හැන්දෑවකත් මා වඩාත් අගය කරන තීරු ලිපි කිහිපයකි.යතාර්ථවාදී එවැනි ලිපිවලින් මතුවන්නේ පොළවට සමීප මිනිසුන්ගේ අතීත මතකයනුත් එදිනෙදා ජීවිත ගමනේදී මැවෙන සිදුවීම් වලිනුත් සන්තානය තුළ පොදි ගැහෙන සිතුවිළි. විටෙක ඒවා අඳුරුය, මූසලය. කළුය,අළුය විටෙක සුදුය. සමහරක් සතුටුදායකය, සැනසිලිදායකය.

 පත්තර පිටු දාරයක හෝ ටැබ්ලොයිඩයක නොපෙනෙන කෙළවරක, පිටුවෙන් දහයකින් එකක ඉඩක කළු අකුරින් ලියවෙන එවැනි සිතුවිලි මුදාහැරිල්ලක් හොය හොයා කියවන්නට උත්තේජනය වූයේ මා ගරු කරන සුන්දර මනුස්සයෙක්ගේ සත්‍යවාදියෙකුගේ දිනපොතයි. මා උපදින්නටත් මත්තෙන් සුනිල් මාධවයන් අතින් කිසිවක් නොහංගා ලියවුනු ඒ තීරු ලිපි එකතුවයි.

 ඊනියා වචනය පුනපුනා ඔබමින් කාටවත් නොතේරෙන තර්ක පිරි ලිපි, ආත්ම කථනයක ස්වරූපය බලෙන් ඔබ්බවමින් ලියන්නට මහා අමාරු ප්‍රයත්න දරන ලිපි අතරේ ජීවිත මතකයන් ඇසුරෙන් පෙළගැහෙන ඒ ලිපිවලට ඕනෑම අයෙකුගේ හිත ඇදී යන බව අමුතුවෙන් කියන්නට දෙයක් නොවේ. පත්තර හදවතින් කියවන්නට මිනිසුන්ට පුරුදු කරවන එවැනි අකුරු ගෙතුම් කරන අපූරු මිනිසුන්ට මගේ ගෞරවය.

Comments

  1. පත්තර ටයිප් කලා ප්‍රින්ට් කලා මිස කියවන්ට වැඩි කැමැත්තක් මගේ නෑ ආයිබෝවං.... පැණි වලලු නං කියවලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ ටයිප් කොරන ගමන් කියවන්නෙපැයි... පැණි වළල්ල බොහොම රහයි...

      Delete
  2. මගෙත් ප්‍රියතම තීරු ලිපි.ඇමති තුමාගේ එක ඇරුනම.
    සුනිල් මාධව මහත්මයාට මම තාමත් හරිම ආදරෙයි.ඒ වුනාට එතුමා මේ වගේ කාලෙක එතුමාගේ පෑන නිහඬව තියාගන්න එක ගැන මට කියන්න බැරි තරම් දුකයි..

    ReplyDelete
    Replies
    1. ඇමතිතුමාගෙ එකත් හොඳා...ඒකත් හදවතින් ලියන පාටයි ... සුනිල් මහත්තය අපිට කරන ලොකුම අපරාධය නිහඬ වීම...

      Delete
  3. රසික ජයකොඩිගේ දවසක්දා හැන්දෑවක තීරු ලිපිය දැන් නැවතත් 'ඉරුදින' පුවත්පතේ පළවනවා

    ReplyDelete

Post a Comment