අවදිවුණු මතක...





අවදි නොකරන්නට මහා වෑයමක් දරා යටපත් කරදැමූ මතකයන් ඉහළට තෙරපන්නට තත්පර කීපයක් ප්‍රමාණවත්.අමතක කර දැමූ යැයි කීවත් අමතක කර දැමීමට හැකියාවක් නැතිකමම මනසේ නොදියුණු කමක්,අඩුවක් යැයි හැඟෙන වාර අනන්තය.ඒ සමහර විට ඒ මතකයන් හිතට දුකක් පසුතැවීමක් ගෙන ඒම විය හැකියි.කැමති හෝ අකමැති හෝ ජීවිතයේ යම් මොහොතක මුණ ගැහුනු සුවිශේශී පුද්ගලයෙක්,සිදුවීමක් ජීවිත කාලය පුරාවටම ලුහුබඳින මතකයන් උරුම කිරීම ස්වභාවයයි.ඒ මතකයන් විටෙක් දෑසේ කඳුලු මතුකරාවි,සමහරක්විය මුවග සතුටු සිනහවක් හෝ ලැජ්ජාව නිසා නිරායාසයෙන් ඇතිවන සිනහවක් මතු කරාවි.ඒ මතකයන් විවිධ හැඩයෙන් ඉස්මතු කරන හැඟීම් නවතා දැමීම කළ හැක්කක් නම් සමහර විටෙක සැනසිලිදායක හැඟීමක් ගෙන ඒවි.

සිත අඳුරු පටකයකින් මුවාකරන්නාක් මෙන් දැනෙන කටුක මතකයන්ට වෛර කරවින් කැමති මතකයන්ගේ නැවත නැවතත් තෙරපෙන්නට ආසාවක් ජනිතවීම අසීමිත සැපත අපේක්ශා කරන පෘතග්ජනයන්ගේ ස්වභාවයයි.කොතරම් අකමැතිවුවත් ඇසිල්ලකින් මතුවන අතීත මතක සටහන් ගව් ගණනක්,වසර ගණනක් සිතුවිලිවලින් පසුපසට ඇදදමමින් සිතේ දුක පසුතැවීම ඇතිකිරීම නැවතිය නොහැකිවීම හිතට උරුමකරන්නේ අසරණකමක්. අතීතයට නැවත ගමන්කර වැරදුනු පියවර නිවැරදි කිරීමට අපේක්ෂා කිරීම නිශ්ඵල වුවත් එය යටිසිතේ බලාපොරොත්තුවක් මෙන් තැන්පත්ව තිබෙනව..

නොසිතූ මොහොතක හෝ සිදුවේ යැයි බලාපොරොත්තුවෙන් හුන් මොහොතක ඇසිල්ලකින් නැවත නැවතත් අත්විඳින්නට අකමැති මතකයන් තෙරපී ඉහළට ඒම බොහෝවේලාවක් නිහඬ්කරවන්නට,සිතුවිලිවල ගිලී හිඳින්නට ඉඩකඩ හිමිකරයි.ඒ මතකයන් උලුප්පා සිතුවිලි සසල කරවූ හේතුව නිකමයාමෙන් සිතට යම් සැනසිලිදායක හැඟීමක් දැනුනත් ඇතිවූ හිස්බව එතරම් ඉක්කනින් පිරීයන්නට හැකියාවක් නැතිකම උරුමකරන්නේ අසරණබවක්.අතීතයට වෛර නොකර ඒ මතකයන් සමගින් ගමන් කරන්නේ යැයි සපථ කරමින් සැරසුනත්,නැවතත් මොනයම් හෝ මොහොතක සුපුරුදු සිතුවිලි සමූහයම උරුම කරමින් මතකයන් අවදිවෙයි.

පසු සටහන : සඳහන් කිරීමට නොහැකි අතීත මතක සටහනක් අවදිවීම නිසාවෙන් ලියැවුණු බ්ලොග් සටහනක්.

Comments

  1. අපි අපේ අතීතයට වෛර කරන්න කරන්න අතීතය මතක් වෙවී අපිව රිදවනව, ඒත් අතීතයේ වෙච්ච වැරදි හදාගන්න පුළුවන්නම්.......................

    ReplyDelete
    Replies
    1. එහෙනම් ජීවිතය නීරස වේවි... හැමදාමත් අතීතයේ වැරදි හදමින් අතීතයේම රැඳේවි.... ස්තූතියි අදහසට...

      Delete

Post a Comment