තවිතිසාවෙන් ආ ගොසිප් පුවත...

එදවස එක් රටක අග නුවරක වෙසෙන
දස රජ දම් නොඅඩුව පුරනා රජෙකි
දුගී දනා නිදුකින් සැමදා වෙසෙනු
දක්නට කැමැති මහරජ සිතුවා මෙලෙස

අසල්වැසි දේසෙ වැඩ වෙසෙනා සොඳින
නොඅඩුව රැකවරණ ගරු බුහුමන් විඳින
බුදු රද ධාතු වැඩමවමින් අප ඉමට
පතමු වැසි බව බෝග සම්පත් නොම අඩුව

යවා මැති ඇමති පිරිවර පර දෙසට
වැඩමවන්න බුදු රද ධාතුව මෙදෙස
කතිකා කළා පර රජ සමගින් දිගට
අවසන සියලු දේ සිදුවිය වැඩමන්න

මහරජ වියදමෙනි සියළුම සැරසිල්ල
රට සිවුකොන වඩමන්නයි සිතුවිල්ල
දුගී දනා රොක්වෙති එක දිගු පෙළට
දන්සල් සියලු සැළකිළි මැදුරෙනි රජ

හැමදා එක ලෙසම ගසනා කෑකොස්සන්
පෙරළන්නට රජ පරපුර කර විස්කම්
ආවා දෑ විරෝදී බලවතුන් හැම
වඳිනට ධාතු සතුටින් ඇරයුමින් රජ

එක කෙළියකි රජ සමගින් ඔවුන් හැම
තෙපළයි පුහු වදන් නොඅඩුව සමඟ රජ
රජය කරවනා ඇමතින් සමඟ මැති
ආවා බවලතුන් සමගින් වඳිනු බැති

හරි බැතිබරය ඒ බලවත් බවලත්තු
කෝළම් කොමළ මැද සුරපුරයකි විමන
බුදු රද අබිමුවේ මර දූවරු තිදෙන
මැව් නාටිකා මැව්වා ධාතුවද ළඟ

රජ අනුහසින් ආශිර්වාදෙන් නොමඳ
රට කරවන්න කැපවී තම ධනය පුදා
වෙහෙසී දුගී ජනයා කරවන්න රජා
මහරජ දෑත් හයිකරනා ඇමති තුමා

කෙළින් වැඩය ඔහු නිතරම කර ඇත්තේ
තරමක් සැර වැරය එනමුත් හිත හොඳය
වැන්දා ධාතු බැති සිත සමගින් කුමරු
කලින් දා රැයේ ඇල්ලූ හරඹ පොර

වැඩමා දිවයින සිවුකොන කර බුහුමන්
ආපසු වැඩමවන්නට විය පර දෙසට
කුමර බඹසරද ගුණදම් නිති රකින
හිස මත තබා ධාතුව දෙටු පුත් රජුගේ

මහපින් කර ඉපිද දෙව්ලොව වැඩ වෙසෙනා
මෙත් බුදු සසුනෙ ඉපදී දකිනට නිවන
පෙරුම් පුරන බෝසත් ගුණ දම් පුරන
මහරජ ගැමුණු දුටුවා මේ පින් හරඹ

බැලුම් හෙළන තම නුවණැස යොදාගෙන්
බැලුවා දුගී ජන මන දෙස සතුටිම් වෙසෙන
මුහුණේ හිනා වුව පෙන්නාගෙන විසුම
දැක්කා අන්ද මන්දව ඇති බව ඔවුන

හේතුව බලද්දී හෙළිවිය අමනකම
මුල හැම දුකකටම පින්බිම ඔහු විසුව
රජ මැති ඇමති හා ප්‍රතිමල්ලව හැවොම
එක පාරුවේ පදිනව ගඟ පල්ලටම

පසෙක තබා පුරනා බෝදම් සියළු
ඒ රට දනා මුදවා රකිනට සසුන
හෙළා නුවණ ඇස සවි ඇති ගුණ ගරුක
හෙව්වා යෝධයෙක් දසමහ කියන්නට

Comments

  1. සාදු සාදු සාදු :)

    ReplyDelete
    Replies
    1. සුවපත් වේවා දුගියා... :)

      Delete
  2. එල කවි ටික මචො දිගටම ලියපන් ජය............

    ReplyDelete
  3. අපූරු පද ටික!
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... ඔබටත් ජයම වේවා :)

      Delete
  4. යන එන මඟ තොට අවෙමි ඔබේ ගිමන්හලටද.ලැබු‍වෙමි සුවයක් ඔබේ පද අතර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... එය මට සතුටක් :)

      Delete

Post a Comment