අරුත තේරුම් නොගත් ගීතය... ළඳුනේ...




රිවිර ඉරිදා සංග්‍රහය අතට ගනිද්දි ලොකු අකුරෙන් සටහන්වෙලා තිබුණු ප්‍රවෘත්තිය දැක්කම දැනුනෙ වෙනදා වගේම කටගැස්මට දාපු අකුරුගොඩක් කියන හිස් හැඟීමයි.මොහොතකින් මතකෙට ආව පහුගිය සතිය පුරාම රූපවාහිනි නාලිකාවලත් මේ ප්‍රවෘත්තිය ගැන දැන්වීම් දාපු වග. කියවන්න අදහසක් නොතිබුනත් මමත් කියවන්න පටන් ගත්තා. මේ පුවතම මම පහුගිය දවසක ලංකාදීප වෙබ් පිටුවෙන් දැක්කත් එතන සිදුවීම ගැන සම්පූර්ණ විස්තරයක් තිබුනෙ නෑ.

"රෑ මනමාලියක වූ ටෙළි නිළිය කොටුකරගත් හැටි".වැදගත් පුවතක් හැටියට නොදැනුනෙ මීට පෙරත් මෙවැනිම පුවත් පළවී තිබීමත්,ඒ වාර්තාවන්ට කුතුහලය ඇතිකිරීමේ අරමුණින් රසවත් කර අතින් දමා ලියූ රහස් පරීක්ෂක කතාවල හැඩයක් තිබීමයි.ඒ නිසාවෙන්ම හිතේ ඇතිවුණු හිස් ගතියත් තියාගෙනම කියවන්න පටන් ගත්තෙ තවත් කතාවක් කියවනවා යන අදහසින්.නමුත් අවසාන වචනය කියවා අවසන් උනාට පස්සෙ හිතට දැනුනු බර මේ සටහන ලියන්න පෙළඹුවා.

ඇගේ නම,ගම ගැන සඳහනක් නොතිබුනත් පුවත්පතේ සටහන්ව තිබුනු රඟපෑ ටෙළි නාට්‍ය වලින් කවුදැයි දැනගැනීමේ උවමනාවක් මට නොදැනුනේ එය මිනිස්කමට කරන ගැරහීමක් යැයි මා විශ්වාස කිරීම මෙන්ම ඒ කතාවේ තිබූ සංවේදී බව නිසයි.මේ වනවිට රස කතාවක් බවට නිසැකවම පත්වුනු ඒ පුවත් නැවත මෙහි සඳහන් කරන්නේ මේ සටහන දකින්නෙක්ට දැනගැනීම වෙනුවෙන් පමණයි.

ඇය වයස අවුරුදු 17දී ජාවරම්කාරයින්ට හසුව විකිණෙන්නේ ඇය පෙම්වතෙකුගේවත් පහස නොලබා සිටිද්දී.කාලයක් ගතවීමෙන් ඇය ඔවුන්ගේන් මිදෙන්නේ තමන් හඳුනාගත් ගනුදෙනුකරුවෙකුගේ උදවුවෙන්.(ගණිකා වෘත්තිය යැයි නීතිමය හැඩයක් ඇති වචනයක් භාවිතය අකමැති වුවත් ගනුදෙනුකරුවෙක් යන හැඳින්වීම භාවිත කළේ වෙනත් යමක් සිතට නොනැගුනු නිසායි.)පසුව අවාසනාවක් වූ රුව නිසාවෙන් රඟපෑමේ වාසනාව හිමිකරගත් ඇයට නැවතත් පැරණි පාපයටම ගොදුරු වෙන්න සිදු වුනා.ඒ ඇගේ වරදමනම් නොවෙයි.ඇය පොලිසියට සඳහන් කර ඇත්තේ අසනීප තාත්තාගේ බෙහෙත් වලට වියදම් කරන්නට ඇති අපහසුවත්,තවමත් පාසල් යන නංගි හා මල්ලි වෙනුවෙනුත් මෙවැන්නකට යොමු වූ බවලු.කතාවේ ඇත්ත නැත්ත කුමක් උනත් මේ කතාවේ ඇරඹුම බොහෝ දෙනෙකුට පොදු වූ සිදුවීමක්.

මීට අවුරුදු කිහිපයකට කලින් කියවූ මෙවැනිම පුවතක් තවමත් මතකයෙ තියෙන්නෙ ඒ සිදුවීමේ තිබුනු අවාසනාවන්ත බව නිසයි.මේ සටහනෙන් සමාජයේ මතයක් ගොඩනැගීමේ කිසිඳු අදහසක් නම් නැහැ.නමුත් හිතේ ඇතිවුණු බර ගතිය නිරායාසයෙන්ම මේ සටහන ලියන්නට මාව පෙළඹුවා.මෙවැනි ඉරණමකට ගොදුරුවූ ගැහැණියකගේ අවසානය ගැන පැහැදිළි අදහසක් මටනම් නැහැ.නමුත් සිය දහසක් දෙනා වපරැසින් බලන බවත්,අප්‍රසිද්ධියේ ඒ ගැහැණියට බනින බවත් සත්‍යයක්.ලංකාදීප වෙබ් පිටුවේ මේ පුවතට පළවී තිබුනු අදහස් වලින් මට ඒ බව දැනුනා.

දෙපැත්ත කැපෙන පිහිතලයක් වැනි මාතෘකාවක් වෙනුවෙන් සටහනක් ලියවුනෙ කාවවත් විවේචනය කිරීමේ අරමුණකින් නොවෙයි.නමුත් වපර ඇහින් රවන බොහෝ දෙනෙකු මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වල පංගුකාරයින්.සුපිරි තරු අනිවාර්යයෙන් ගයන,බොහෝ දෙනෙකු අසා ඇති,කාන්තා අයිතීන් ගැන කතාකිරීමේදී බොහෝ දෙනෙකුට මතක් වෙන අමරසිරි පීරිස් ගයන "ළඳුනේ" ගීයෙන් කියවෙන්නෙත් මේ තිත්ති යථාර්තය.මා අසා ඇති තරමට මේ ගීය ලියවුනේ රංබණ්ඩා සෙනෙවිරත්නයන් අතින්.අපට නොපෙනෙන ඔවුන් හදවත අභ්‍යන්තරයේ සියුම් වේදනාවන් ස්පර්ශකළ ඒ වචන පෙළට වස්තු බීජයත් මෙවැනිම කතාවක් වෙන්නැති.ඉදිරියේදීත් මෙවැනි කතා අසන්නට වේවි.

ඒ කතා අවසන් වෙන්නේ කුමන ආකරයටදැයි මට කිසිඳු අදහසක් නැහැ.මෙය කියවන ඔබටත් එවැන්නක් නැති බවයි මා සිතන්නේ.එය ඔබේත් මගේත් වරදක් නොවේ.ඒ අපි පිටතින් හිඳ තවත් කතාවක අවසානයට අර්ථකථනයක් දීමට උත්සාහ දරන නිසායි.සමහරවිටෙක ඒවායේ හිමිකාරියන් පවා අවසන් පරිච්ඡේදය ලියැවෙන ආකාරය නොදන්නවා ඇති.එයටනම් හේතුව අසරණකමයි.ඒ අසරණකමට හේතුව ඔවුන් විකුණන්නේ ආත්මය නොවීමයි.ඔවුන් විඳවන්නේ ආත්මයද විකිණීමට සමත් හැඩයක් නොදැරීම නිසාවෙන්.ආත්මයද සිරුර සමගින් විකිණිය හැකි දිනයක් උදාවේනම් ඔවුන්ගේ කතාවල අවසානය සැනසිළිදායක වේවි...

Comments

  1. මට මේලයක් එවහංකෝ මම උඹව මූනු පොතෙන් අකතු කරගන්නම් ..

    හිස්අහස@ජීමේල්.කොම්

    ReplyDelete
  2. ඔන්න එව්වා...අවාදෝ?

    ReplyDelete
  3. මමත් මේ ලිපිය කියෙව්ව ලොක්කා..නියම ලිපියක්

    ReplyDelete
  4. තැන්කියු බොස්...

    ReplyDelete

Post a Comment