ආදර කතාව...

ආදර කතාව චිත්‍රපටය දෙවෙනි වතාවටත් අහම්බෙන් දැක්කා.මේ වතාවෙත් කතාවෙ ආරම්භය මගහැරුනා.කසිකබල් චිත්‍රපට පෙන්නන ස්වාධීන රූපවහිනියෙ ඒවගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙද්දී පූර්ව දැන්වීම් නොදාන නිසා අහම්බෙන් දැකීමෙන් මිසක නැරඹීමේ වාසනාව නැහැ.නමුත් මීට කලින් වතාවේත් මෙය විකාශය උනේ ස්වාධීන රූපවහිනියෙමයි.මා දන්නා තරමින් වෙනත් නාලිකාවක ප්‍රදර්ශනයව නැහැ.ඒ වෙනුවෙන් ගෞරවය ස්වාධීන රූපවාහිනියට හිමිවිය යුතුයි.

ආදර කතාවේ ජීවරාණී කුරුකුලසූරිය සමග රඟපෑ නළුවා කවුරුන්දැයි මා දන්නේ නැහැ.එහි අධ්‍යක්ෂකවරයා චන්ද්‍රන් රත්නම් මහතා යැයි මා සොයාගත්තේත් විකිපීඩියා වෙබ් අඩවියෙන්.1985 වසරේ ජනවාරි 25 තිරගත වූ බවයි එහි සඳහන් වෙන්නේ.කෙසේ නමුත් ආදර කතාව එතරම් ජනප්‍රිය නිර්මාණයක් නොවූ බව කොහේ හෝ තිබී කියවූ බවක් මතකයි.ලාභ උදෙසා බාල චිත්‍රපට නිපදවුනු 80 දශකයේ එවැනි චිත්‍රපටයක් ජනතාව අතර නොයාම එතරම් පුදුමයකුත් නොවෙයි.නමුත් මේ සටහන ලියන්නට මා පෙළඹුවේ ආදර කතාවේ මා දුටු වෙනසයි.මෙහි යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කිරීමට ඔබේ සහය බලාපොරොත්තු වෙනවා.

මා පළපුරුදු සිනමා විචාරකයෙක් නොවෙයි.නමුත් හාස්‍යය බලෙන් එබ්බවූ විකට චිත්‍රපට හා අවරගණයේ වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට මෙන්ම හින්දි අනුකාරක නිර්මාණ, හුදෙක් ලාභය උදෙසාම නිපදවුණු යුගයක තිරගතවුනු ආදර කතාවේ යතාර්තයට සමීප කතා තේමාවක් ගැබ්වීම වෙනසක් බවයි මට දැනෙන්නේ.මා සිතන ආකාරයට මල් ගස් වටේ දුවන ප්‍රේමගීත ජවනිකා ආරම්භය 80 දශකයයි.එවන් යුගයක ආදර කතාවේ රූපරාමු හාත්පසින් වෙනස්වූවා.කැමරා කෝණයන්ගෙන් පවා එහි වූයේ වෙනසක්.එහි සංගීතය පවා පැහැදිළි වෙනසක් පෙන්වන බවක් මට හැඟුනේ.එහි සංගීත අධ්‍යක්ෂක කවුද යන්නත් මා දන්නේ නැහැ.නමුත් එහි අවසාන භාගයේ නීලා වික්‍රමසිංහයන්ගේ හඬින් ගැයෙන්නේ යැයි මා අනුමාන කරන ගීතය පවා ඒ වෙනසට සාක්ෂි දරනවා.ගීතයට උචිත රූප රචනය මෙන්ම කැමරා කෝණ පෙළගැස්වීම ඒ ගීතය හදට සමීප කරන්නට සමත් බවයි මට හැඟෙන්නේ.සිනමාව ගැන හැදෑරූ දැනුමක් නොතිබුනත් එහි වෙනස පැහැදිළිව දැනුනා.

තේමාව,අන්තර්ගතය සරළ වුවත් ඒවටා කතාව සියුම් ලෙස ගොඩනැගී තිබුනා.කළු ජූලියේ අඳුර පහවයන්නටත් කළින් සිංහල තරුණියක හා දමිළ තරුණයෙකුගේ ආදර කතාව ගොඩනගන්නට චන්ද්‍රන් රත්නම් නම් දමිළ සිනමාවේදියා නිර්භය වූවා.නමුත් දිගු කලක් ඔහුගේ නිහඬබවට හේතුව මා දන්නේ නැහැ.මෑතකදී ඔහුගේ නිර්මාණයක් තිරගත වූ බවනම් මතකයි.

ශෝකාන්තයක් ජනප්‍රිය වීමේ අවදානමටද ආදර කතාව මුහුණ දෙන්නට ඇති.නමුත් එකල සිදුවීම් වල හැටියට මෙවන් කතාවකට දියහැකි අවසානය ආදර කතාවට හිමිවූ බවයි මට දැනෙන්නේ.අඩු ලුහුඬුකම් තිබුනත් සිංහල සිනමාවේ අතීතය යැයි අපට නොබියව සඳහන් කරන්නට හැකි නිර්මාණ අතළොස්ස අතුරින් එකක් ආදර කතාව බවයි මගේ අදහස.

මේ සටහනට අමුණන්නට ආදර කතාවේ ඡායරූපයක් මුළු සයිබර් අවකාශය පුරාම පීරුවත් සොයාගන්නට නොහැකි වුනා.හමුවුනොත් මෙහි සඳහන් කරාවි යැයි මා බලාපොරොත්තු වෙනවා.චිත්‍රපටය නැරඹීමේ අවකාශය ඇති තැනක් හමුවුනොත් සඳහන් කරන්නත් අමතක නොකරන්න.

Comments

  1. හිනා නොවී පින්තූරයක් හොයමුද? සයිබර් කොල්ලෙක්නෙ...අමාරු වෙන එකක් නෑ... :)

    ReplyDelete

Post a Comment